දැනුම යනු කුමක්ද?
වත්මන් ලෝකය තුළ දැනුමට ලැබී ඇත්තේ විශාල වටිනා කමකි. ධනවාදී ලෝකය තුල උගතුන් හා නූගතුන් ලෙස මිනිසුන් ගොඩවල් දෙකකට බෙදා වෙන්කරනුයේද දැනුමේ මිනුම් දඬු යොදාගෙනය. වත්මන් ගෝලීය ධනවාදය (නූතන අධිරාජ්‍යවාදය) තුළ දැනුමද සූරාකෑමේ මාධ්‍යයක් බවට පත්කරගෙන තිබේ. දියුණු යැයි පැවසෙන ධනේශ්වර සංවර්ධනයේ ඉදිරියෙන් සිටින රාජ්‍යයන් විසින් ධනේශ්වර සංවර්ධනනේ පසුගාමී රාජ්‍යයන් තම ග්‍රහණයේ තබාගෙන සූරාකෑම සඳහා ප්රාග්ධනය මෙන්ම "දැනුම"ද අවියක් ලෙස යොදා ගනී. "දැනුම" එලෙස යොදාගැනීමට හැකියාව ලැබී ඇත්තේ ප්රාග්ධනය විසින් දැනුම මිලදී ගනු ලැබීමත්, ප්රාග්ධනයට අවශ්‍ය ලෙස දැනුම හසුරවා ගැනීමේත් හැකියාව වර්තමාන ධනපති ක්‍රමය සතු නිසාය. මේ නිසා "දැනුම" ප්‍රාග්ධනයක් ලෙස හැදින්වීමට තරම් සමහරු ඉදිරියට ගොස් ඇත. එහෙත් එය සත්‍ය නොවේ. දැනුම පිළිබඳව කුමන නිර්වචන තිබුණද ඉතා කෙටියෙන් පවසන්නේ නම් "දැනුම" යනු තමා අවට ලෝකය (ප්‍රකෘතිය) පිළිබඳව මිනිසා සතුව ඇති අවබෝධය වේ. එය න්‍යායිකව විග්රහ කර ගන්නේ නම් දැනුම යනු වාස්තවික ලෝකය හා එහි නියාම අරමුණු සහගතව සහ සංවර්ධනාත්මකව මිනිස් මනස තුල පිළිඹිඹු වීම වේ. මේ අනුව බලන විට දැනුම යනු වාස්තවික ලෝකය හෙවත් ප්‍රකෘතිය මිනිස් මනසේ වන පිළිඹිඹුවක් වේ. එහෙත් එය හුදු පිටපත් කරනයක් ලෙස සිදුවන පිළිඹිඹුවක් නොව අරමුණු සහගතව සහ සංවර්ධනාත්මකව සිදුවන පිළිඹිඹුවක් වේ. දනුමේ ක්‍රියාවලිය නිති වර්ධනයක පවතින්නේ එම නිසාය.
සැබවින්ම දැනුම යනු මිනිසාගේ පංචේන්ද්‍රියනුත් ස්නායුපද්ධතියත් මොළයත් සම්බන්ධවී සිදු කරන සංකීර්ණ ක්‍රියාවලියක ඵලයක් වේ. මිනිසා සිය පංචේන්ද්‍රියන් මගින් ලබා ගන්නා සරල අවබෝධය හෙවත් ඉන්ද්රිය ගෝචර දැනුම මොළය තුල සිදුකරන තාර්කික ක්‍රියාවලියක් හරහා තාර්කික දැනුමක් බවට පත්වේ. දැනුමේ ආරම්භක අවස්ථාව වන අප අවට ප්‍රකෘතිය පිළිබඳ පංචේන්ද්‍රියන්ගෙන් ලබා ගන්නා අත්දැකීම ජීවමාන සංජානනය ලෙස හදුන්වයි. ලෙනින් එය හැදින්වූයේ වාස්තවික ලෝකයේ මනෝමූල ප්‍රතිබිම්බය ලෙසය. එම ඉංද්රියගෝචර සංජානනයන් මිනිස් මොළය තුළදී තාර්කික ක්‍රියාවලියකට භාජනය වේ. එය ප්රජානනය නම් වේ. දැනුමේ ද්වීඝටනය වනුයේ ඉන්ද්රිය ගෝචර දැනුම හා තාර්කික දැනුමය. පංචේන්ද්‍රියන් මගින් ලබාගන්නා සංවේදන අංග සම්පූර්ණ දැනුමක් බවට පත් වනුයේ මොළය තුළ සිදුවන තාර්කික ක්‍රියාවලියක් මගිනි. එම නිසා මොළය නැමති ඉතාමත් දියුණු ද්‍රව්‍යයේ (සිතන ද්‍රව්‍යයේ) පිහිට නොමැතිව "දැනුම" පවත්වාගත නොහැකිය.
එය එසේ වුවද දැනුමේ උල්පත මිනිස් මොළය හෝ මනස නම් නොවේ. නැති නම් විඥ්ඥාණය ද නොවේ. දැනුම බිහිවන්නේ වාස්තවික ලෝකය මිනිස් මනස තුළ සිදුවන පරාවර්තනයකින් නම් දැනුමේ සැබෑ උල්පත වනුයේ වාස්තවික ලෝකයයි. නැතිනම් සොබාදහමයි. වාස්තවික ලෝකයක් නොමැති තැන දැනුමක්ද නැත. මිනිසෙක්ද නැත. මොළය නම් වූ දියුණුතම ද්‍රව්‍යයද නැත. එබැවින් දැනුම පෙර ආත්මය තුළින් ලැබෙන හෝ කුසල් අකුසල් මත රඳා පවතින දෙයක් හෝ නොව වාස්තවික ලෝකය සංජානනය කිරීමට ලැබෙන ඉඩ ප්‍රමාණය හා තාර්කික හැකියාව මත ලැබෙන එකක් වේ. දැනුමේ විවිධත්වයට හේතු වන්නේද එම පාරිසරික විවිධත්වයන්, තාර්කික හැකියාවේ විවිධත්වයන් හා දැනුම ලැබීමට ලැබෙන අවස්ථාවල විවිධත්වයන්ය. එසේම අතීත සමාජමය දැනුම ලබාදීමේ හා ලබාගැනීමේ හැකියාව මතද (අධ්‍යාපනය) දැනුමේ ප්‍රමාණය තීරණය වේ.
දැනුම පවතිනුයේ එක් එක් පුද්ගලයන් තුළ වුවද දැනුම යනු පුද්ගල දැනුමක් නොව සමාජීය දැනුමකි. දැනුම වර්ධනය වනුයේ ඓතිහාසිකව හා සමාජයක් ලෙස සාමූහිකව ලබන අත්දැකීම් අනුවය. මිනිස් සමාජය තුළ "දැනුම" ඇරඹෙනුයේ මානව සමාජයේ පදනම වූ නිෂ්පාදන ක්‍රියාවලියත් සමග වේ. දැනුම වර්ධනය වූයේද ඊට සාපේක්ෂව මිනිසාගේ පංචේන්ද්‍රියන් හා මොළය වර්ධනය වුයේද නිෂ්පාදනයේ අවශ්‍යතාවයන් හා බැඳෙමිනි. අප හැම කෙනෙක්ම සතුව විවිධ ප්‍රමාණයෙන් පවත්නා "දැනුම" අපේ පෞද්ගලික දේපළක් පෞද්ගලික දක්ෂතාවයක ප්‍රතිඵලයක් නොව සමාජමය දේපළකි. සමාජමය ක්‍රියාවලියක ප්රතිඵලයකි. ඒ නිසාම දැනුම සමාජමය වේ. එය යෙදවිය යුත්තේද සමාජමය අරමුණකිනි.
දැනුමේ ද්වීඝටනය තේරුම් නොගත් හා ද්වීඝටනයේ එක් එක් ප්රතිපක්ෂ දැනුම ලෙස වරදවා වටහා ගත් අය ලෝකය තුළ ලොකු අවුලක් කර තිබේ. දැනුම පිළිබඳ ප්රශ්නයේදී කඳවුරු දෙකක් සෑදීමට පවා ඔවුන් සමත් වී තිබේ. ඒ අනුභූතිවාදීන් හා බුද්ධිවාදීන් යනුවෙනි. අනුභූතිවාදීන් පංචේන්ද්‍රියන්ට හසුවන දේ පමණක් දැනුම ලෙස විශ්වාස කරන අතර එහි අනිත් අන්තය වූ බුද්ධිවාදීන් තර්කයට ගෝචර වන දේ පමණක් දැනුම ලෙස පිළිගනියි. අනුභූතිවාදීන්ට අනුව ඇසට නොපෙනෙන, කනට නොඇසෙන දේ විශ්වාස කළ නොහැකිය. බුද්ධිවාදීන්ට අනුව පංචේන්ද්‍රියන් අපව රවටන බැවින් ඇසට පෙනෙන, කනට ඇසෙන දේ එලෙසම විශ්වාස කළ නොහැකිය. එහෙත් සත්‍ය නම් දැනුම ගොඩනැගෙනුයේ ඉංද්රියගෝචර හා තාර්කික දැනුම එක්ව ක්‍රියාකිරීම තුළින් බවය.
දැනුම යනු ලෝකය අවබෝධකරගැනීමක් ලෙස පමණක් යැයි ඇතමුන් කල්පනා කළද "දැනුම" ලෝකය තේරුම්ගැනීමට පමණක් සීමාවන්නක් නොව ලෝකය වෙනස් කිරීම සඳහාද උපයෝගී වන්නක් වේ. දැනුම අවශ්‍යවන්නේද සියල්ල දන්නා පණ්ඩිතයෙක් ලෙස ජීවත්වීමට නොව දැනුම භාවිතයට නගා ලෝකය වඩා හොඳ තැනක් බවට වෙනස් කිරීමටය. න්‍යායයෙන් තොර භාවිතය අන්ධ යැයිද භාවිතයෙන් තොර න්‍යාය වඳ යැයිද පවසන්නේ මේ පදනමින් වේ.